Friday 26th of June 2026

English Tamil
Advertiesment


වෙළෙඳපොළේ පවතින මිලටත් වඩා වැඩි මිලට ඉන්ධන ගත්ත නිසා අපේ රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා


2026-06-26 1250

 

- විපක්ෂ නායක -  

 

අප ලොව පවතින ඉන්ධනවල මිලට වඩා වැඩි මිලක් වියදම් කර ඉන්ධන මිලදී ගෙන ඇති බවත් එය ලෝක වෙළෙදපොළේ සාමාන්‍යයට වඩා වැඩි මිලක් නිසා මෙය අප රටේ විදේශ විනිමය සංචිතවලට අගතිගාමි බලපැමක් සිදුව ඇති බවත් මෙසේ වැඩි මිලට ඉන්ධන මිල දී ගැනීමට අදාළ හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් මේ නිසා ලෝකයේ තෙල් මිල අඩු කරන විට අප රටේ තෙල් මිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ බොහෝ රටවල් තෙල් මිල පහත දමා ඇති නමුත් අප රටේ තවමත් එවැනි පහත දැමිමක් සිදුකර නොමැති බවත් ලෝකයේ තෙල් මිල ඉහළ යන වි අප රටේ තෙල් මිල ඉහළ ගියත් ලෝකයේ තෙල් මිල පහළ යන විට අප රටේ තෙල් මිල පහළ යන්නේ නැති බවත් එය ජනතාවට කරන බරපතල අසාධාරණයක් බැවින් කඩිනමින් මේ වරද, අඩුපාඩුව නිවැරදි වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Colombo EV Motor Show හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව එම අවස්ථාව අමතමිනි.

පුනර්ජනනීය බලශක්තිය රටේ මූලික සහ පිරිසුදු බලශක්ති උත්පාදන ක්‍රමවේදය විය යුතුය යන ලොව ප්‍රචලිත සංකල්පය අප රට තුළ ද ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රය යනු පාරිසරික දූෂණ අවම කරන ක්‍රියාදාමයක් වන බවත් විද්‍යුත් මෝටර්රථ ප්‍රචලිත කිරීමට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ සහ අදාළ බලධාරීන්ගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

විද්‍යුත් වාහන සේවා ශක්තිමත් කිරීමෙන් ඉන්ධන අනාරක්ෂිතභාවයෙන් මිදිය හැකියි

 

පසුගිය කාලයේ නිර්මාණය වූ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා අප රටේ බලශක්ති ආරක්ෂිතභාවයේ අවදානම පෙන්නුම් කෙරුණු බවත් තෙල් මත කේන්ද්‍ර වූ ක්‍රියාකාරකම් තුළ අප රටට අවශ්‍ය තෙල් ගෑස් ඇතුළු පොහොර ඇතුළු සම්පත් රැසක් හෝමූස් ආදී සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීම තුළ මේ බලශක්ති හා ඉන්ධන අනාරක්ෂිතභාවය පැහැදිලිව ඉස්මතු වූ බවත් විද්‍යුත් ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම තුළ මේ අවදානම් තත්ත්වයෙන් බොහෝ ලෙස ඉවත් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

අප රටෙත් විද්‍යුත් වාහන නිෂ්පාදනය සිදුවිය යුතුයි

 

අප රට විද්‍යුත් වාහන ආනයනය කරනවා සේම ඇගලුම් කම්හල් 200ට සමානව විද්‍යුත් වාහන කර්මාන්තශාලා පද්ධතියක් අප රටේ ස්ථාපිත කරන්නට කටයුතු කළ යුතු බවත් මේ කතා සමාජ මාධ්‍ය හරහා සමච්චලයට ලක් කළ හැකි වුවත් විද්‍යුත් වාහන භාවිතය ආනයනය පමණක් නොව ඉදිරි දැක්මක් තුළින් මේ වාහන අප රටේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ස්ථාපිත කළ හැකි බවත් එය සමගි ජන බලවේගයේ දර්ශනය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

විද්‍යුත් වාහන නිෂ්පාදන ආරම්භ කළොත් රටට වාසි ගොඩක් අත් වෙනවා

 

මේ කර්මාන්තශාලා ස්ථාපිත කරන්නට නම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ක්‍රමය හෙවත් කඩිනමින් දින ලබා දී කර්මාන්තශාලා විවෘත කරන බවට නිලධාරීන්ට සහ ආයෝජකයන්ට නියෝග හා උපදෙස් ලබා දී විවෘත කිරීමේ දිනය ලබා දෙන විට අදාළ අවසර ඉඩකඩම් පහසුකම් හා විශේෂ දිරිගැන්වීම් කඩිනමින් සිදු කළ හැකි බවත් විදුලි බිලට පවා විශේෂ සහන දිය හැකි බවත් මේ නිසා විද්‍යුත් වාහන ආනයනය සේම අපනයනය කරන රටක් බවට පත් වීමත්, අපනයනය කිරීම තුළින් අපනයන ක්ෂේත්‍රය ඉහළ යාම සේ කුසලතාව නිපුණතාව හා දක්ෂතාව ඇති තරුණයන්ට රැකියා අවස්ථා ලැබෙන බවත් ඊට අමතරව තාක්ෂණික හුවමාරුවක් ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

පොඩි මිනිසාටත් මිල දී ගත හැකි ලෙස විද්‍යුත් වාහන මිල ගැනත් සිතන්න

 

මේ විද්‍යුත් වාහන රටේ සමාජයේ එක්තරා ඉහළ පන්තියකම පමණක් සීමා වී ඇති නිසා පොඩි මිනිසාගේ විද්‍යුත් වාහන සිහිනය සැබෑ කර ගන්නටද අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් දරාගත හැකි මිලකට මෙය ලබා ගැනීමට යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment